පුවත් අංගය

අපගේ පුන්‍ය පුවත් අංගයෙහි වැඩිදුර තොරතුරු

ආහාර නිරෝධයෙන් නිවන් දකින හැටි...

”සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා - සියලූ සත්ත්වයෝ ආහාරය හේතුවෙන් පිහිටා සිටිති.” සියලූ සත්ත්වයෝ කිව්වම පියවි ඇහැට පෙනෙන ඝන ශරීර වගේම, පියවි ඇහැට නොපෙනෙන අරූප ලෝකවල ඉන්න බ‍්‍රහ්ම දේවතාවොත්, ගන්ධබ්බ අවස්ථාවල ඉන්න සියුම් ශරීර තියෙන සත්වයොත් අයිතියි. දහමෙ සඳහන් වෙන්නෙ, පංචස්කන්ධයට ඇලූම් කරන නිසා ”සත්ව” කියනව කියල. බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් හැර අනෙක් සියල්ලෝම පංචස්කන්ධයට ඇලූම් කරනවා. ආර්ය මාර්ගයට පත්වෙලා, පංචස්කන්ධයේ ආදීනව දැනගෙන, ඒ කෙරෙහි නොඇල්මක්, මිදීමක් උදෙසා කටයුතු කරන ආර්ය පුද්ගලයන් (සේකයන්) තුළත් යම් පමණකට පංචස්කන්ධය කෙරෙහි ඇල්මක් තියෙනවා.

උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නා වූ සත්වයින්ට අනුග‍්‍රහ පිණිසත් ආහාර වර්ග හතරක් තියෙන බව බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. ”දළ වූ හෝ සියුම් වූ හෝ කබලිංකාර ආහාරය, ස්පර්ශය දෙවැන්නය, මනෝ සංචේතනා තුන් වැන්නය, විඤ්ඤාණය සිව් වැන්නය. මේ ආහාරය තෘෂ්ණා නිදාන කොට, තෘෂ්ණාව හේතු කොට, තෘෂ්ණාව ජාති කොට, තෘෂ්ණාව ප‍්‍රභව කොට ඇත්තාහ. මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට, කුමක් හේතුකොට, කුමක් ජාති කොට, කුමක් ප‍්‍රභව කොට ඇත්තේද?...” ආදී වශයෙන් මේ විදිහට විග‍්‍රහයක් සං. නි. (2) 21 වෙනි පිටුවේ එන ආහාර සූත‍්‍රයේ සඳහන් වෙනවා.

කබලිංකාර ආහාර කිව්වම, මතුපිටින් පෙනෙන, එ් වගේම අද පෙන්වල තියෙන අර්ථය තමයි, කැබලි කරන ලද ආහාර කියන එක. නමුත් බුද්ධ දේශනාවල මතුපිටින් පෙනෙන දේට වඩා ගැඹුරු අරුත් තියෙනවා. වචනවල නිරුක්තිය දැන ගන්න, එ් වචනයෙන් කියවෙන අදහස තේරුම් ගන්න, නිරුක්ති පටිසම්භිදා ඤාණය කියන බුද්ධ ඤාණය හරිම වැදගත්. ෂඞ් අසාධාරණ ඤාණ කියල ලොව්තුරා බුදුන් වහන්සේ නමකට විතරක් පිහිටන විශේෂ ඤාණ හයක් තියෙනවා. එතකොට තෙසැත්තෑ ඤාණවලින් ඉතිරි 67 ශ‍්‍රාවක මට්ටමින් ශ‍්‍රාවකයන්ටත් ගෝචර බව පැහැදිලියි. වහරක අභයරතනාලංකාර මහ තෙරුන් වහන්සේටත් මේ නිරුක්ති පටිසම්භිදා ඤාණය තිබිච්ච නිසා අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පහසු වුනා.

කය බලි කරන අර්ථයෙන් කබලිංකාර ආහාර කියනවා. ඥාති බලි, පේ‍්‍රත බලි, දේවතා බලි... ආදී වශයෙන් ඒ ඒ අයට දෙන ආහාර පානවලට ”බලි” කියනවා. බලි හදනව කියල හදන මැටි මූර්තිවල යක්ෂ රූපයක් හැදුවත්, දේව රූපයක් හැදුවත්, ඒක හොඳට පිරුණු විදිහට අත පය තියෙන්නයි හදන්නෙ. කය බලි කරනව කියන්නෙ ශරීරය පුෂ්ටිමත් කරගන්න අදහසින් ආහාර ගන්න එකට. රස විඳ විඳ රස තණ්හාවෙන් ආහාර ගන්න අය, දිවට දැනෙන රස ගැන විතරක් නෙවෙයි බලන්නෙ. මේවා පෝෂණයෙන් ඉහළයි, විටමින් තියෙනවා, ඥාන ශක්තිය දියුණු කරනවා, ඉගෙන ගන්න ළමයින්ට මතක ශක්තිය වැඩෙනවා... ආදී වශයෙන් කාය වර්ධනයට අවශ්‍ය හැම දෙයක් ගැනම සලකනවා. කය පෝෂණය කිරීම ගැන ඉහළින් වර්ණනා කරන ගතියෙන් තමයි ආහාර ගන්නෙ. මේ කය හොඳයි, වටිනවා කියන හැගීම තුළ ඉඳගෙන ගන්න ආහාරවලට කබලිංකාර ආහාර කියනවා. මේ වටිනාකම පිළිබඳ අගය කරන කල්, මතු මතුත් මෙබඳු කයක් ලැබෙන එකෙන් මිදෙන්න බෑ. මේ රස තණ්හාව නිසා භයානක දුක් සහිත සසර ගමනින් මිදෙන්න බෑ.

මේ කයට කැමැත්තෙන් බැඳෙන නිසා එ් වගේ කයක් මතු මතුත් ලබන්න සිද්ධ වෙනවා. නමුත් මේ සසර දුකෙන් මිදෙන ප‍්‍රතිපදාව ගෙනියන්න හැර, වෙනත් දේකට නම් මේ කය පරිහරණය කරන්න සුදුසු නෑ කියන කාරණය ධර්මාවබෝධය ලැබුණට පස්සෙ වැටහෙනවා. ඒ නිසා ආහාර ගන්න කොට, අපි දන්න වචනවලින් මේ විදිහට ප‍්‍රත්‍යවේක්‍ෂා කරන්න පුළුවන්. ”මේ ආහාරය රස පිණිස නෙවෙයි, අසීමිතව බඩ පුරවා ගන්න නෙවෙයි, හැඩ වැඩ වෙන්න, ලස්සන වෙන්න, අඩු තැන් පුරවන්න නෙවෙයි, ක‍්‍රීඩා කෙළි සෙල්ලම් පිණිස නෙවෙයි, ආහාර නොගැනීමෙන් ඇතිවන ක්ලාන්ත කැරකිලි වේදනා දුරු කරගෙන, මේ ආර්ය මාර්ගය පූර්ණ කරගැනීම පිණිසත්, පහසු විහරණය සඳහාත්, මේ ආහාරය පමණ දැන පරිභෝග කරමි.” කබලිංකාර ආහාර නිරෝධයට බුදුන් වහන්සේ දේශනා කළ පාළි පාඨය මහ පිරිත් පොතෙන් අවශ්‍ය අයට බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සං. නි. (2* 152 පිටුවේ සඳහන් වෙන පුත්ත මාංස සූත‍්‍ර දේශනාවෙන්, බුදුන් වහන්සේ මේ ආහාරය ගැන හිතන්න ඕන විදිහ උපමාවකින් මේ විදිහට දේශනා කරල තියෙනවා.

ලිපු‍ය තවදුරතත් කියවීම සඳහා එය බාගත කරගන්න
 https://waharaka.com/data/hela_bodu_piyuma/volumes/79.pdf#page=24